top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට පියවර....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 29, 2021
  • 2 min read

ree

සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට ලක්කර මහජන සේවාව ඇඟිලි තුඩු මතින් සිදු කර ගැනීමේ හැකියාව ඇති කරන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව පැවසුවේ, 27 දින පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව පළාත් පාලන ආයතන ඩිජිටල් කරණය කිරීම පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. තරුණ හා ක‍්‍රීඩා කටයුතු සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,“මහජනතාව වැඩිපුරම සේවා ලබා ගැනීමට පැමිණෙන්නේ පළාත් පාලන ආයතන වලටයි.මහ නගර සභා නගර සභා හා ප්‍රාදේශීය සභා තුන්සිය හතළිස් එකක් (341) තුලින් කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සේවය ලබාදෙනවා. එහිදී ජනතාව විවිධ අපහසුතාවලට ලක් වෙනවා, රස්තියාදු වෙනවා, කාලය ගත වෙනවා, මුදල් නාස්ති වෙනවා, ආයතන කෙරෙහි අප්‍රසාදය ඇතිවෙනවා, අවසානයේ රජය අපහසුතාවයට පත්වෙනවා . මේ නිසා තොරතුරු තාක්ෂණය දියුණු ලෝකයක ස්මාර්ට් ජංගම දුරකතනයකින් මහජන සේවය ඉටු කරගන්න හැකි ලෙස අපගේ අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ඩිජිටල්කරණයට ලක් කිරීමට පියවර ගන්නවා. ඒ මගින් මහජන සේවය සැලසෙන අතර රාජ්‍ය සේවය විනිවිද භාවයකින් හා විශ්වාසනීය භාවයකින් යුතුව ලබා දිය හැකි වෙනවා. අල්ලස දූෂණය වංචාව වැනි අයථා ක්‍රියාවන්ට ඒමඟින් වැට බැඳෙනවා. ඒවායින් වාසි ගන්නා පිරිසකට නම් ඒ මගින් අවාසියක් වෙනවා යැයි ද පැවසීය . ව්‍යාපාරික බදු අයකරගැනීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ,පරිසර බලපත්‍ර නිකුත් කිරීම, අනුකූලතා සහතික නිකුත් කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම, අනතුරුදායක ගස් ඉවත් කිරීම, අයාලේ යන සතුන් පාලනය, ආදාහනාගාර සේවාවන් ගැනීම, ක්‍රීඩා පිටි හා ශාලා පහසුකම් වෙන් කරගැනීම ඇතුළු ප්‍රධාන සේවාවන් පහළොවක් ද අනෙකුත් සේවාවන් හැටකට අධික ප්‍රමාණයක් ද තම නිවසේ සිටම සපයා ගැනීමේ හැකියාව ලැබෙනවා”. මෙහිදී අදහස් දැක්වූ තරුණ හා ක‍්‍රීඩා කටයුතු සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා “මිනිසුන්ගේ බදු මුදල් ගෙවන්න ඔවුන් ආයතන ගානේ රස්තියාදු වෙන්න ඕන නෑ. අපියි ඔවුන් ළඟට යන්න ඕනේ. ඇතැමුන් කියනවා රට සිංගප්පූරුවක් වගේ කරන්න ඕන කියලා. ඒකට තියෙන ප්‍රශ්නය ගොඩනැගිලි, වාහන යන්ත්‍ර සූත්‍ර නොවෙයි. මානව ප්‍රාග්ධනය ගැටලුවයි තිබෙන්නේ. හිතන විදිහ හා ආකල්ප වෙනස් කර ගත යුතුයි. තාරුණ්‍යයට අනාගතයක් තිබෙන්නේ තොරතුරු තාක්ෂණය එක් කර රට ඉදිරියට ගියොත් විතරයි. දේශපාලනඥයන්ට පවා ඉදිරියට යන්න වෙන්නෙ තොරතුරු තාක්ෂණය සහිත ලෝකයකයි. එහෙම නැති වුණොත් තරුණ දේශපාලනඥයන්ගේ අනාගතය නැති වෙනවා . අපේ අමාත්‍යාංශය මගින් පළාත් පාලන කටයුතු අමාත්‍යාංශයට හා ආයතන වලට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරනවා. ඊට අවශ්‍ය දැනුම තාක්ෂණය ඇතුළු සියලු සහයෝගය අප අමාත්‍යංශය ලබා දෙනවා. ඒ කටයුතු ඉක්මනින්ම ආරම්භ කිරීම සඳහා මෙහයුම් කමිටුවක් පත්කර කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම පළාත් පාලන ආයතන වල ඉන්න සේවකයින්ගෙන් එම කටයුතු ගැටළුවක් නොමැතිව ඉටුකර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ හා ඩිජිටල්කරණය පිළිබඳ පුහුණුවක් ලබාදීමට කටයුතු කරනවා. මෙහි පළමු අදියරේ දී වැඩිම ආදායම් උත්පාදනය කරන පළාත් පාලන ආයතන සීයක් ගෙන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස මම නිළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයි ද පැවසීය. මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස මහතා, තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා, පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් (සංවර්ධන) එම්. කොඩිප්පිල්ආරච්චි මිය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සාමාන්‍යධිකාරි ඕෂධ සේනානායක මහතා, ගම්පහ මහ නගර සභාවේ නගරාධිපති එරංග සේනානයක මහතා හා පළාත් පාලන ආයතන වල නිලධාරීන් සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page