මහින්දට සහ බැසිල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ : හිටපු ජනපතිත් වගඋත්තරකරුවෙකු කිරීමට අධිකරණයෙන
- helloplanetaviss
- Jul 27, 2022
- 3 min read

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද යලි සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කෙරුණා.
එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් පෞද්ගලික මට්ටමින් නම් කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අගෝස්තු මස 01 වනදා මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි යවන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කලා.
එම නොතීසි ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් වශයෙන් පදිංචිව සිටි ලිපිනය වෙත යොමු කරන ලෙසයි අධිකරණය වැඩි දුරටත් නියෝග කළේ.
ඊට අමතරව අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ආචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරු අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතව නොවන බවට ලබාදී තිබෙන ප්‍රතිඥාව අගෝස්තු මස 02 වනදා දක්වා දීර්ඝ කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී.දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැදවනු සලකා බැලූණා. මෙම පෙත්සම ගොනු කළ අවස්ථාවේ දී එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එහි වග උත්තරකරුවකු ලෙස නම් කර තිබුණා.
එහෙත් රාජපක්ෂ මහතා මේ වනවිට තනතුරින් ඉවත් වී සිටින බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සමේ පුද්ගලිකව වග උත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබු ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා ඇතුළු කථිකාචාර්යවරු තිදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ද එම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර සිටියා. එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සම් වල වග උත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර ලබා දුන්නා.
එමෙන්ම අගෝස්තු මස 01 වනදා මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි යවන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවය ට නියෝග කළා ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට විදේශ ගතව සිටින බවට වාර්තා පලවී ඇති හෙයින් ඔහුට අදාළ නොතීසි භාරදීම සඳහා ඔහුගේ ලිපිනය සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.
මෙම පෙත්සම ගොනු කළ අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කළ බැවින් එම අවස්ථාවේදී ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් ඉල්ලා නොසිටි බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එහෙත් ඔහු මේ වනවිට ධුරයෙන් ඉවත්ව සිටින හෙයින් සුදුසු අවස්ථාවක එම විදේශ ගමන් තහනම ඉල්ලා සිටීමේ අයිතිය රදවා ගන්නා බවත් ප්‍රකාශ කළා.
ඊට අමතරව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරු අධිකරණයට දන්වා සිටියේ අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති හෙයින් ඒ මහතා මෙම නඩුකරයෙන් මුදාහරිණ ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය රනිල් වික්‍රමසිංහ මහතා මෙම පෙත්සම් වලින් නිදහස් කිරීමට නියෝග කළා.
අනතුරුව අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු මස 01 වනදා කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර සිටියා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ වගඋත්තර කරුවන් විසින් අනුගමනය කළ අදුරදර්ශී සහ අකාර්යක්ෂම ආර්ථික ප්‍රතිපත්ති හා පරිපාලනය හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වූ බවයි. මේ හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවත් ඉන්ධන, විදුලිය, ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවා අඛන්ඩව සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා එල්ල කර තිබෙනවා. වග උත්තරකරුවන්ගේ මෙම ක්‍රියාකලාපය තුලින් මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් මෙම අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
Comments