top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

මැතිවරණ ක්‍රමය සාධාරණ හා විනිවිදභාවයකින් යුක්ත විය යුතුයි....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 23, 2021
  • 2 min read

ree

මැතිවරණ ක්‍රමය සාධාරණ හා විනිවිදභාවයකින් යුක්ත විය යුතු බව දේශපාලන පක්ෂ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී පෙන්වා දෙයි.

ජන්ද හිමි නාම ලේඛනය තවදුරටත් ප්‍රසාරණය විය යුතු බවත්, ඊට ජන්ද දායකයා සිදුකරන වෘත්තිය පිළිබඳ තොරතුරු, ස්ථිර පදිංචිය,ආදායම් මාර්ග,දුරකථන අංකය,විවාහක අවිවාහක බව, තමන්ට හිමි වාහන, නිවාස ආදිය පිළිබඳවද තොරතුරු ඇතුළත් කළ යුතු බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (21) රැස් විය. පළාත් පාලන ආයතන සඳහා සියලු ජනකොටස්වල නියෝජනයක් අවශ්‍ය බවද ගුණරත්න මහතා කාරක සභාවේදී කීවේය. උතුරේ පැවැති බොහෝ ප්‍රශ්න වලට හේතුව නිසි නියෝජනයක් නොමැතිවීම බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මැතිවරණ ක්‍රමය සාධාරණ හා විනිවිදභාවයකින් යුතු මෙන්ම, දූෂණයෙන් තොර විය යුතු බවද ඔහු කීවේය. කොට්ඨාස ජන්ද ක්‍රමය ඇති කිරීම සුදුසු බව පැවසූ හෙතෙම එය පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා යොදා ගැනීම යෝග්‍ය බවද සඳහන් කළේය. දමිළ ප්‍රගතිශීලි සංධානය වෙනුවෙන් කාරක සභාවේදී සාක්ෂි දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේ රටට යෝග්‍ය වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය බවයි. විසිරී සිටින ජනවාර්ගිකයන් සඳහා සාධාරණ නියෝජනයක් අවශ්‍ය වන අතර, එය හිමි වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය තුළින් පමණක් බවද ඔහු කාරක සභාවේදි අවධාරණය කළේය. වර්තමාන සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ ජන්ද දායකයෙකු විසින් ලබාදෙන සෑම ජන්දයකටම නිසි වටිනාකමක් ලැබෙන බවද ඔහු සඳහන් කළේය. මැතිවරණ කොමිසම තවදුරටත් ශක්තිමත් කර, එහි ස්වාධීනත්වය තහවුරු කළ යුතු බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය වෙනුවෙන් විශේෂ කාරක සභාවේදී සාක්ෂි දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේය. දැනට පවතින පළාත් පාලන මැතිවරණ ක්‍රමය දුර්වල මට්ටමක පවතින බවත්, එය සංශෝධනය විය යුතු බවත් හෙතෙම කාරක සභාවේදී අවධාරණය කළේය. සුළුජන කොටස්වල අයිතීන් ආරක්ෂා වන පරිදි මැතිවරණ ක්‍රමය ශක්තිමත් විය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට දැනුම් දෙන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය. මෙම කාරක සභාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, රංජිත් මද්දුම බණ්ඩාර,කබීර් හෂීම්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරු සභභාගි වූහ. සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරිහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීළඟ රැස්වීම් 29 සහ 30 යන දිනවලදී පැවැත්වෙන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page