top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

බූස්ටර් එන්නත නිසා අතුරු ආබාධ ඇති වන්නේ නෑ-කට කතා බොරු- විශේෂඥ වෛද්‍යවරු පවසති...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 14, 2022
  • 2 min read

ree

බූස්ටර් එන්නත නිසා අතුරු ආබාධ ඇති වන්නේ නෑ: කට කතා බොරු: විශේෂඥ වෛද්‍යවරු පවසති

ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩපිලිවෙල යටතේ මේ වන විට මිලියන 16 ක් පමණ එක එන්නතක් හෝ ලබාගෙන ඇති අතර මිලියන 14 ක් පමණ එන්නත් දෙකම ගෙන ඇත. කාලයත් සමඟ එන්නත්වල ප්‍රතිශක්තිය අඩුවන නිසා දෙවන මාත්‍රාව ගෙන මාස 03 කට පසුව බූස්ටර් මාත්‍රාව ගැනීමෙන් ඉදිරියේදී තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමෙන් මිදී රට සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට ඉවහල් වනු ඇත. බූස්ටර් මාත්‍රාව ගැනීමට ඉදිරිපත් වන පිරිසේ අඩුවීමක් දැන් දක්නට ලැබේ. මේ එන්නත ගැන පැතිර යන කටකථාවල කිසිදු සත්‍යතාවයක් නැත. එන්නත ගැනීමෙන් දියවැඩියාව, ආතරයිටීස්, ලිංගික බෙලහීනතාව වැනි අබාධවලට ගොදුරුවන බවට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රවෘත්ති සහ පැතිර යන කටකතාවල කිසිදු විද්‍යාත්මක පදනමක් නැත. විශේෂයෙන් එන්නත නොගත් පිරීස මෙවැනි කට කතා පතුරුවන බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ (13 ) කොවිඩ් - 19 බූස්ටර් එන්නත නැතිව බැරි ඇයි? වෛද්‍ය විශේෂඥයෝ පැහැදිළි කරති යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය. එක්සත් රාජධානියේ කරන ලද පරීක්ෂණයකට අනුව දෙවන එන්නත ගත් පසු රෝගය වැළඳී රෝහල් ගතනොවීමේ ආරක්ෂණය 100% වන අතර ඉන් මාස දෙකකට පසුව 70% දක්වා අඩුව ගොස් මාස 06 කට පසුව 50% දක්වා අඩුවෙන බව තහවුරු වී ඇත. බූස්ටර් එන්නත ගෙන සති දෙකෙන් 90% දක්වා ඉහළ යන එම ආරක්ෂණ මට්ටම මාස තුනකට පසුවද නොවෙනස්ව පවතී. කොවිඩ් 19 වසංගතයෙන් මිදීමේ විකල්පයක් ලෙස බූස්ටර් එන්නත ගැනීමේ හැකියාව තිබියදීත් මේ වන විට බූස්ටර් එන්නත ලබා ගෙන ඇත්තේ මිලියන 4.6 කි. මිලියන 10 ක පමණ මහජනතාව බූස්ටර් එන්නත මෙතෙක් ලබා ගෙන නැත. ප්‍රමාණවත් එන්නත් ලැබී තිබියදීත් අවදානමක් නොගෙන එන්නත ගැනීමෙන් නව කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා රට සාමාන්‍යකරණයට පත් කර ගත හැකි බව ජාතික රෝහලේ ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතා පවසයි. ඇමරිකාව වැනි දියුණු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව එන්නත්කරණ වැඩපිළිවෙලේ ඉදිරියෙන් සිටින බවත් කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය යන සංඛ්‍යාව පළමු එන්නත් දෙක ගැනීමෙන් 50% කින් අඩුවන බවත් බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් කොවිඩ් ආසාදනයෙන් රෝහල් ගතවන සංඛ්‍යාව 90% කින් අඩුවන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිකරණ විද්‍යා අණුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසයි. ලෝක ජනගහනයෙන් බිලියන 10 කට පමණ කොවිඩ් එන්නත දී ඇති බවත්, 2020 හා 2021 වසර හා සසඳන විට කොවිඩ් ආසාදිත වී රෝහල් ගතවන සහ මිය යන පිරිසෙන් වැඩි දෙනා එන්නත් නොගත් අය බව මහාචාර්යවරිය වැඩිදුරටත් පැවසීය. කොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙලේ පළමු සහ දෙවෙනි මාත්‍රාව ගැනීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් දක්නට ලැබුණ අතර රෝගීන් වාර්තාවීමේ පැහැදිළි අඩුවීමක් දක්නට ලැබුණි. පසුගිය සති දෙක තුනක පමණ කාලය තුළ වාර්තාවන රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත්, ලංකාවේ විවිධ ඔමික්‍රෝන් ප්‍රබේද වාර්තාවන අතර මේ නිසා ඉදිරියේදී තව කොවිඩ් රැල්ලක් ඇතිවීමට ඉඩ ඇති බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කීය. අත් සේදීම, මුව ආවරණ පැළඳීම, ජනතාව ගැවසෙන ස්ථානවල රැඳී සිටීමෙන් වැළකීම, පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම වැනි නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම හා එන්නත්කරණයට යොමු වීම නව කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට ගත හැකි සාර්ථක විසඳුම බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය. කාලයත් සමග එන්නත්වල ප්‍රතිශක්තිය අඩුවන නිසා බූස්ටර් මාත්‍රාව ගැනීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය වීමෙන් රෝගය වැළඳෙන සංඛ්‍යාව අඩුවන අතර රෝගය වැළඳුනත් මියයන ප්‍රමාණය අඩුවන බව මෙහිදී වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page