top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පසුගිය ආර්ථික අර්බුදයට රට යළි ඇද නොවැටීම සඳහා අසීරු වුවත් නිසි තීන්දු ගතයුතුයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Nov 6, 2023
  • 4 min read

ree

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන ලබාදීම පිළිබඳ ප්‍රකාශයක් ඉදිරි අය වැයේ දී – ජනපති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල අමතමින් පවසයි.

සිඟමන් යදින රටක් වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට නම් කෙතරම් අසීරු වුවද අද දවසේ ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, (01) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023 අමතමිනි.

වැට් බද්ද 18%කින් වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූවක් නොවන බවත්, එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු තීන්දුවක් බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා නායකත්වය යනු ජනතාවට සත්‍ය පහදා දී රට වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීම බවද කියා සිටියේය.

එසේම මෙම දුෂ්කර තීන්දු තීරණ ගැනීම මැතිවරණයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට අසීරු කටයුත්තක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය. කෙසේ වුවද රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ ගැනීමට තරුණ නායකත්වය ද පුරුදු පුහුණු විය බවත් රට වෙනුවෙන් වැඩකළ හැකි තරුණ අමාත්‍යවරුන් පිරිසක් අද ආණ්ඩුවේ කටයුතු කරන බවත් පැවසු ජනාධිපතිවරයා ඔවුන් සමඟ එක්ව 2024 වන විට මීට වඩා යහපත් ආර්ථික තත්ත්වයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවද පැවසීය.

තවද ඉදිරි අය වැයේ දී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන ලබාදීම පිළිබඳ ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාව තුළ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බල ගැන්වීම උදෙසා, කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව ජාතික කර්මාන්ත විශිෂ්ටතා උළෙල 2023 සංවිධානය කර තිබිණි. මෙහිදී ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර 21ක් හා උප කර්මාන්ත ක්ෂේත්‍ර 61ක් වෙනුවෙන් තරග කිරීමට අයදුම් කළ කර්මාන්ත ව්‍යවසායකත්ව 4000කට අධික ප්‍රමාණයකින් ජයග්‍රහණය කළ ව්‍යවසායකයින් 300 දෙනෙකු ප්ලැටිනම්, රන්, රිදී සහ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය, මෙහිදී සම්මාන ලැබූ පිරිස දෙස බැලු විට මට පසුගිය වසර පිළිබඳ සිහිපත් වුණා. පසුගිය වසර වන විට මෙම කර්මාන්ත ඉදිරියට ගෙන යා හැකිද යන්න පිළිබඳව ගැටළු රැසකට අප මුහුණ දී සිටියා. එදා විදුලිබලය තිබුණේ නැහැ, බැංකු ණය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණා. මේ හේතුවෙන් ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වැසී ගියා.

කෙසේ හෝ අද අපේක්ෂා නොකළ තරම් විශාල සංඛ්‍යාවක් නැවත තම කාර්මාන්තවල නිරත වී සාර්ථකව ඉදිරියට පැමිණ සිටිනවා. කුඩා කර්මාන්ත සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ඉතා කෙටි කාලයක් තුළ නැවත දියුණු වී තිබෙනවා. නමුත් ඇතැම් ගැටළු තවමත් විසඳී නැහැ. බැංකු ණය පිළිබඳ ප්‍රශ්න ඒ වගේම වෙළෙඳ පොළ ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. කෙසේ හෝ එම ප්‍රශ්න විසඳීමටත් අපේ අවධානය යොමුව තිබෙනවා.

ඊළඟ අය වැයේදී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන ලබාදීම පිළිබඳ ප්‍රකාශ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අප මෙම වැඩපිළිවෙළ ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යන බවද කිව යුතුයි. රටේ කඩාවැටුණු ආර්ථිකය යළි පණ ගැන්වීමේ සැලසුම් අප මේ වන විට සකස් කර තිබෙනවා. අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මෙන්ම අපේ ණයකරුවන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

සෑම අවස්ථාවකදීම අවධානය යොමු කරන්නේ ලබාගත් ණය ගෙවීමට අපිට ශක්තියක් තිබේද යන්න පිළිබඳවයි. ඒ සඳහා වර්ෂයෙන් වර්ෂය අප ආදායම් ඉහළ නංවා ගත යුතුයි. අපට මෙම ණය ආපසු ගෙවිය හැකි බවට පුද්ගලික ණයකරුවන් සහ බහුපාර්ශ්වික ණයකරුවන් සියලු දෙනාගේ විශ්වාසය දිනාගත යුතුයි.එම විශ්වාසය නොතිබුණහොත් රටේ ආර්ථිකය කඩා වැටෙනවා. එය මතක තබාගෙන වැඩකළ යුතුයි.

ණය ගෙවීම සහ පොලිය ගෙවීම සඳහා ලබන වසරේ අය වැයෙන් සැලකිය යුතු කොටසක් වෙන් කිරීමට අපට සිදු වෙනවා. මෙම ණය නොගෙවා සිටියහොත් අප නැවත පැරණි තත්ත්වයට පත් වෙනවා. එසේ නම් අපේ රුපියල ආරක්ෂා කරගෙන මෙම ණය ආපසු ගෙවිය යුතුයි.

මීට පෙර අය වැය සඳහා මුදල් නැත්නම් මහ බැංකුවට කියා මුදල් මුද්‍රණය කරනවා. දැන් නීතියෙන්ම එය සිදු කළ නොහැකියි. ඒ වගේම බැංකුවලින් ණය ගන්නත් බැහැ. මේ සියල්ල අවහිර කර තිබෙනවා. එසේ සිදු වූයේ මීට පෙර පැවති අවිධිමත් මූල්‍ය ක්‍රියාවලිය නිසයි. ලබන වසර වන විට අපේ අදායම් තවදුරටත් ඉහළ නංවාගත යුතුයි. අපට ආදායම් ලබා ගැනීමට යම් ඉලක්කයක් තිබෙනවා. එම ඉලක්කයට අප ගමන් කළ යුතුයි.

ලබන වසරේ බංකොළොත් නොවී රට ඉදිරියට ගෙන යාමට නම් එම ආදායම් උපයා ගත යුතුයි. ඒ වෙනුවෙන් වැට් බද්ද 18%ක් වන තෙක් වැඩි කිරීමට අපට සිදු වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ, පකිස්ථානෙයේ තිබෙන තත්ත්වයට ඒමට අපට සිදු වුණා. මෙවැනි තීරණයක් ගැනීම ඕනෑම ආණ්ඩුවකට අසීරු කටයුත්තක්. විශේෂයෙන් ඡන්දයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට මෙය අසීරු වැඩකටයුත්තක්. නමුත් මෙය සිදු නොකළහොත් සියළුදෙනාගේ අනාගතය අදුරු වෙනවා. ඒ නිසා නිවැරදි තීන්දු ගත යුතුයි. ජනතාවගේ දෝෂාරෝපණයට ලක් වෙමින් වුවද රට වෙනුවෙන් මෙම තීන්දු ගත යුතුයි. කඩාවැටුණු රට ගොඩනැගීමේ වගකීම මමත්, ඇමති මණ්ඩලයත් භාරගත්තා. ඒ වගේම ආර්ථිකය ගොඩැනගීමේ වගකීම අපි භාරගත්තා.

අප නැවත යාචක ජාතියක් නොවිය යුතු බව අපි තීරණය කළා. අපි අපේ ශක්තියෙන් ඉදිරියට යා යුතුයි. පසුගිය සදුදා සන්ධ්‍යාවේ පැවති කැබිනට් මණ්ඩලයේ දී අපට කණගාටුවෙන් වුවත් මෙම තීරණය ගැනීමට සිදු වුණා. ඇතැම් අය දොස් කියනවා. නමුත් අපි මෙය නොකළානම් මේ රට නැවත පසුගිය වසරේ තිබූ තත්ත්වයට පත්වෙනවා. මේ වසර ආරම්භයේ දී අපේ ආර්ථික වර්ධන වේගය සෘණ 07යි. අද වන විට ධන සියයට දශම 05ක් බවට පත් වී තිබෙනවා. ලබන වසරේ එය තව ටිකක් ඉදිරියට යනවා. එසේ නම් නැවත අපි ආපස්සට යනවාද, ඉදිරියට යනවාද කියා තීරණය කළ යුතුයි.

නායකත්වය කියන්නේ එයයි. අසීරු තීරණ ගෙන ජනතාවට එහි සත්‍ය තත්ත්වය පහදා දිය යුතුයි. මෙම තීරණය නිසා අපට යම් මුදලක් උපයා ගෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා සහන ලබාදීමට බැංකුවලට ලබාදිය හැකියි. එය සිදු නොකළා නම් එම කර්මාන්ත කඩා වැටෙනවා. කර්මාන්තකරුවන් ලෙස ඔබත් අසීරු තත්ත්වයට පත්වෙනවා. ඒ නිසා රට වෙනුවෙන් මේ අසීරු තීරණ ගැනීමට සිදු වෙනවා. ඒ වගේම ජනතාවගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදු වෙනවා. නමුත් රට පිළිබඳ සිතා අප එම තීරණ ගත යුතුයි. කෙසේ හෝ රට ගොඩනැගීමේ තීරණය සමඟ අපි එම ගමන යමු. මෙම වැඩපිළිවෙළ මගින් සිඟමන් යදින රටක් වෙනුවට හොඳ රටක් ගොඩනඟන්න පුළුවන්. මේ රටට යහපත් අනාගතයක් තිබෙන බව මම විශ්වාස කරනවා. අප ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරනවා. අද අසීරු වුවත් අපට තව වසර දෙක තුනකින් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.

2024 වන විට රටේ ආර්ථිකය මීටත් වඩා ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාම අපේ අපේක්ෂාව බව සඳහන් කරමින් මම ඔබ සියලුදෙනාට සුබ පතනවා.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, මධ්යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්ම මහත්මීන් සහ අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රධාන කර්මාන්ත ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page