පරිවාසභාරයේ සිටින ළමුන්ට නිවැරදි වෘත්තීය අධ්‍යාපනයක් - නව අවබෝධතා ගිවිසුමක්...
- helloplanetaviss
- Oct 1, 2021
- 1 min read

පරිවාසභාරයේ සිටින ළමුන්ට නිවැරදි වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සහ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් (30) දින සිදුකෙරිණි.
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ මහත්මිය විසින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදුකරන ලදී. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරි පරිශ්‍රයේ දී අත්සන් කෙරුණු මෙම අවබෝධතා ගිවිසුම හරහා ළමා නිවාසවල සිටින ළමුන්ගේ නිපුණතා මට්ටම් හදුනාගෙන ඔවුන්ගේ හැකියාවන් අනුව නිවැරදි වෘත්තීය දිශානතියකට යොමුකරමින් සමාජගතකිරීම මෙහි මූලික අරමුණයි. ඒ අනුව මෙම පාඨමාලා අවසානයේදී නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සම්බන්ධීකරණයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් සහතික (NVQ) පිරිනැමීම සිදුකරයි.
Comments