top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන ඇරඹේ....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 8, 2022
  • 3 min read

ree

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් එක් පියවරක් යථාර්ථයක් බවට පත් කරමින් පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන ඇරඹේ.

එහි සමාරම්භය සනිටුහන් කරමින් මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීම (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. අනාගතයට ගැළපෙන කුසලතාවන්ගෙන් පිරිපුන් දරු පරපුරක් බිහි කිරීම සඳහා අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රතිපත්තිමය තීරණ සහ ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් සිදු කෙරෙමින් පවතී. මේ වන විට පැවති ජාතික පාසල් සංඛ්‍යාව 374කි. එය සමස්ත පාසල් සංඛ්‍යාවෙන් 3.6%ක් වේ. ජාත්‍යන්තරව පිළිගත් නිර්නායකයන් සැලකිල්ලට ගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකින් තෝරා ගත් පාසල් ජාතික පාසල් බවට පත් කිරීමට පියවර ගෙන තිබේ. පාසලෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් පිට ව යන විට හැකියාවක් සහිත දරුවෙකු බිහිකරන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම “සෞභාග්‍යයේ දැක්මේ” අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් ඉටු කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. සෑම දරුවෙකුට ම තොරතුරු තාක්ෂණ දැනුම ලබා දී තාක්ෂණයෙන් පිරිපුන් ශ්‍රම බලකායක් ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු ඉදිරි කෙටි කාලය තුළ සිදු කෙරෙන බව ජනාධිපතිතුමා පැවසීය. රටක ඉදිරි ගමන වෙනුවෙන් මැති ඇමතිවරු මන්ත්‍රීවරු, සියලු දෙනා එකට එක් ව කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. සිදු වන පසුබෑම් සඳහා කණ්ඩායමක් ලෙස මුහුණ දීම සාමූහික වගකීමකි. එසේ නො කර අඩුපාඩුකම් පිළිබඳ පමණක් විවේචන කරනවා නම් එය අදාළ පුද්ගලයාගේ අකාර්යක්ෂමතාව බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. කොවිඩ් හේතුවෙන් අහිමි වූ වසර දෙක ගැන නො සිතා තමා පොරොන්දු වූ වගකීම් ඉදිරි තෙවසර තුළ ඉටු කිරීමට කැපවන බව රාජපක්ෂ මැතිතුමා නැවත වරක් සඳහන් කරනු ලැබී ය. සෑම මන්ත්‍රීවරයෙකු ම කැබිනට් අමාත්‍ය ධුරයක් බලාපොරොත්තුවෙන් සිටී. එහෙත් ව්‍යවස්ථානුකූලව ලබා දිය හැකි කැබිනට් අමාත්‍ය ධුර 30ට අමතරව කිසිදු අමාත්‍ය ධුරයක් ලබා දී තමා ජනතාවට දුන් පොරොන්දුව කඩ නො කරන බවත් ජනාධිපතිතුමා කියා සිටියේය. ජනතාව වෙනුවෙන් ගන්නා තීරණවලදී සහාය වීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් බව ජනාධිපතිතුමා පැවසීය. තීරණ ගැනීමේදී නිලධාරීන් වැඩ කළ හැක්කේ කෙසේ දැයි පමණක් බලන්න. එසේ නොමැතිව චක්‍රලේඛ මඟින් වැඩක් කළ නො හැක්කේ කෙසේ දැයි නො බලන ලෙසත් ඉදිරි වසර තුන සඳහා සම්පූර්ණ සහාය ලබා දෙන ලෙසත් ජනාධිපතිතුමා රාජ්‍ය සේවයේ සියලු දෙනාගෙන් ඉල්ලීය. ජනතාව වෙනුවෙන් වූ ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇති කිරීමට ඉදිරියේදී තමා රාජ්‍ය ආයතනවලට පෞද්ගලිකව පැමිණෙන අතර “ගම සමඟ පිළිසඳර” වැඩසටහන යළි අරඹා ජනතා අපේක්ෂාවන් කඩිනමින් ඉටු කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. නිදහස් අධ්‍යාපන වංශකතාවේ සුවිශාල මෙහෙවරක් සේ ම සන්ධිස්ථානයක් ලෙස ජාතික පාසල් දහස වැඩසටහන ඉතිහාසයට එක් වන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. එය දැනුම් අධ්‍යාපනයේ පෙරළියක ආරම්භයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වර්තමානයේ ශ්‍රී ලංකාව අධ්‍යාපනය ඉලක්කගතව ජාතික අභිලාෂයන් කරා ගමන් කරමින් සිටියි. දළ දේශීය නිෂ්පාදනයෙන් අධ්‍යාපනයට වෙන් කළ 4.5% වෙනුවට 7.2%ක් දක්වා වර්ධනය කිරීමට රජය කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය. අවම පහසුකම් තිබුණත් මොනරාගල දිස්ත්‍රික්කය අනෙකුත් දිස්ත්‍රික්ක හා සැසඳීමේදී අධ්‍යාපනය අතින් විශාල ප්‍රගතියක් අත් කරගෙන තිබේ. ඒ සඳහා මහින්ද රාජපක්ෂ යුගයේ ක්‍රියාත්මක කළ අධ්‍යාපන ප්‍රතිපත්තිය ද ඉවහල් වූ බව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. අභියෝග හමුවේ වුවත් රජය අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරන කැපකිරීම් සහ වැය බර අඩු නො කොට අධ්‍යාපනයට ජීවය දීමට බැඳී සිටින බවත් ඉන් සම්පත් බෙදී යාමේ විෂමතාවය නිසා අතීතයේ සිදු වුණු වරද නිවැරදි කිරීමේ අවස්ථාව උදා වී ඇති බව ද රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා කියා සිටියේය. ග්‍රාමීය ව අවධානයට ලක් නො වූ පාසල් පද්ධතියට ජීවය ලැබීමෙන් දරු කැලගේ අපේක්ෂා ඉටු වන බවත් ඒ වෙනුවෙන් කැප වීම සැමගේ වගකීමක් බවත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළේය. මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමේ නිල ලේඛනය ජනාධිපතිතුමා විසින් විදුහල්පති ඉන්දුමතී පරණමාන මහත්මිය වෙත භාර දෙනු ලැබිණ. මොනරාගල දිස්‍ත්‍රික්කයේ පාසල් 62ක් සඳහා රූපවාහීනි යන්ත්‍ර 88ක් ලබා දීම සංකේතවත් කරමින් පාසල් 05ක විදුහල්පතිවරුන්ට රූපවාහිනී යන්ත්‍ර 05ක් ලබා දීම, 2022 වර්ෂය සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුම් සහ පාවහන් සඳහා වවුචර් පත් පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. විදුහල්පති ඉන්දුමතී පරණමාන මහත්මිය ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය. මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය, පරිගණක තාක්ෂණ ඉගෙනුම් මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා එම විද්‍යාලය ජාතික පාසලක් බවට පත්කිරීම සහ තම පැමිණීම සනිටුහන් කරමින් ලොග් පොතෙහි සටහනක් ද තැබීය. මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර, කුමාරසිරි රත්නායක, ගයාෂාන් නවනන්දන යන මහත්මමහත්මීහු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක ඇතුළු ලේකම්වරු, ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතා සහ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ. මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලයට පැමිණෙමින් සිටි ජනාධිපතිතුමා අතරමඟ රැස් ව සිටි ගොවීන් පිරිසක් හමු විය. ඔවුන්ගෙන් වගා කටයුතු පිළිබඳ විමසා සිටි ජනාධිපතිතුමා කාබනික පොහොර නිෂ්පාදනය තාක්ෂණික දැනුම සහිතව නිෂ්පාදනය කෙරෙන ආකාරය සහ එය කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා ආකාරය නිසි අයුරින් ගොවීන්ව දැනුවත් නො වීමෙන් යම් අඩුවක් සිදු ව ඇති බව පෙන්වා දුන්නේය. වස විසෙන් තොර ආහාර වේලක් අනාගත පරපුරට ලබා දීම වෙනුවෙන් හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ඇති කිරීමට රජය ගන්නා වෑයමට සහාය වන ලෙස ජනාධිපතිතුමා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page