පිරවුම්හල් වෙත ඩීසල් බෙදයි - ඉන්ධන නැව් තුනක් ඩොලර් නැතිව බලා සිටී
- helloplanetaviss
- Feb 25, 2022
- 1 min read

අද සිට සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීම කළ හැකි බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. මෙරටට පැමිණි පෙට්‍රල් හා ඩීසල් රැගත් නෞකා දෙකේ ඉන්ධන තොගයෙන් කොටසක් මේ වන විට ගොඩබා අවසන්.
ඒ අනුව එම ඉන්ධන තොගය දින කිහිපයකට ප්‍රමාණවත් බවත්, හිගයකින් තොරව ඉන්ධන සැපයීමට හැකියාවක් පවතින බවත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවා. ඒ අනුව ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගතයුතු නොවන බවයි එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.
ඩොලර් අර්බුදය හේතුවෙන් නිදහස් කර ගැනීම ප්‍රමාද වූ සිංගප්පූරුවේ සමාගමකට අයත් ඩීසල් නෞකාවට අදාළ ගෙවීම් සිදු කර ඉන්ධන ගොඩබෑම ආරම්භ කෙරුණේ ඊයේ දහවල් කාලයේදීයි. එම නෞකාවෙන් රැගෙන ආ ඩීසල් මෙටි්‍රක් ටොන් 41,000 ක තොගය මුතුරාජවෙල ගබඩා සංකීර්ණය වෙත ගොඩබෑම එලෙස ආරම්භ කෙරුණා.
පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 37,500 ක් රැගෙන මීට දින කිහිපයකට පෙර මෙරට මුහුදු සීමාවට පැමිණි නෞකාවෙන් රැගෙන ආ පෙට්‍රල් තොග කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට ගොඩබෑම සිදු කෙරුණේ ද ඊයේ පෙරවරුවේ සිටයි.
තවත් ඉන්ධන නෞකා දෙකක් ඉදිරි දිනවල මෙරටට ලගා වීමට නියමිත බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.
Comments