top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

නව දූත මණ්ඩල ප්‍රධානීහූ අගමැති හමුවෙති...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 3, 2022
  • 2 min read

ree

ද්වි පාර්ශවික සහයෝගීතාව වර්ධනය කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ගැම්බියාව, ඉන්දුනීසියාව සහ ඊශ්‍රායලයේ නව දූත මණ්ඩල ප්‍රධානීහු ඊයේ (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ සාකච්ඡාවට ලක් කළහ.

මෙරට ගැම්බියානු අනේවාසික තානාපති මුස්තාපා ජවාරා මහතා සමඟ පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව සහ අප්‍රිකාව අතර සමස්ත සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව අවධානය යොමු කෙරිණි. අග්‍රාමාත්‍යතුමා මෙහි දී සිය ජනාධිපති ධුර කාලය තුළ අප්‍රිකානු රටවල් කිහිපයක රාජ්‍ය සංචාරවල නිරතවෙමින් අප්‍රිකානු මහාද්වීපය සමඟ මිත්‍ර සබඳතා වර්ධනය කළ ආකාරය සිහිපත් කළේය. වී වගාව වැනි ක්ෂේත්‍රවල තාක්ෂණික විශේෂඥතාව මෙන්ම සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදීම ගැන අවධානය යොමු කරන්නැයි තානාපති මුස්තාපා ජවාරා මහතා මෙහි දී ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 2022 වසරට 70 වසරක් සපිරෙයි. මෙම වැදගත් සන්ධිස්ථානය සනිටුහන් කිරීම සඳහා ඉන්දුනීසියානු තානාපති කාර්යාලය වැඩසටහන් රැසක් සැළසුම් කර ඇතැයි ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටෝබිං මහත්මිය අවධාරණය කළාය. වෙළෙඳ, ආයෝජන සහ සංචාරක වැනි ක්ෂේත්‍රයන්හි ද්වි පාර්ශවික වශයෙන් වැඩි සහයෝගීතාවක් ඇති කර ගැනීමේ හැකියාව පවතින බව ද තානාපතිනිය මෙහි දී විශ්වාසය පල කළාය. ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ වරායන් ප්‍රයෝජනයට ගැනීම ගැන සලකා බලන්නැයි ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙහි දී ඉන්දුනීසියාව දිරිමත් කළහ. ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන යතුරුපැදි විදුලියෙන් ක්‍රියාකරන යතුරු පැදි බවට පරිවර්තනය කිරීම සඳහා හරිත ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කරමින් පසුගිය වසරේ ඉන්දුනීසියාව ක්‍රියාත්මක කළ නව ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති මෙරට ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය. ඉන්දුනීසියාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටෝබිං මහත්මිය මෙහිදී ආරාධනා කළාය. ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ත්‍රස්තවාදය වැළැක්වීම වැනි ක්ෂේත්‍රවල අතීතයේ පැවැති සහයෝගීතාව ඉස්මතු කළ මෙරට ඊශ්‍රායල අනේවාසික තානාපති නඕර් ඉට්ෂාක් ගිලොන් මහතා (Naor Itzhak Gilon) සහයෝගීතාව වර්ධනය කළ හැකි නව ක්ෂේත්‍ර කිහිපයක් අග්‍රාමාත්‍යතුමා හමුවේ ඉදිරිපත් කළේය. කෘෂිකාර්මික හා ජල කළමනාකරණයේ දී ඊශ්‍රායලයේ සාර්ථකත්වය සැළකිල්ලට ගනිමින් වගා කළ හැකි ඉඩම් සහ ස්වාභාවික ජල සම්පත් හිඟව තිබියදී වුවද වගා කටයුතුවල නිරතවීම පිළිබඳව මෙහි දී අවධානය යොමු විය. ශ්‍රී ලංකාවට තාක්ෂණික සහය ලබා දෙමින් විශිෂ්ට කෘෂිකාර්මික මධ්‍යස්ථාන පිහිටුවීමට සහය වීමටත්, බිංදු ජල සම්පාදනය, ලවණ ඉවත් කිරීම සහ ජලය නැවත භාවිතය වැනි ක්‍රියාවලීන් ගවේෂණය කිරීම සඳහා ජල කළමනාකරණ ක්ෂේත්‍රයේ විශේෂඥ සහය ලබා දීමටත් ඊශ්‍රායලය උනන්දු වන බව තානාපතිවරයා මෙහි දී විශ්වාසය පළ කළේය. තානාපති නඕර් ඉට්ෂාක් ගිලොන් මහතා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිළිබඳව ද ධනාත්මක අදහස් පළ කළ අතර ඔවුන් දෙරටටම ප්‍රතිලාභ ලබා දී ඇති බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවට ආයෝජකයින් ගෙන්වා ගැනීම සහ සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමට කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙම සාකච්ඡා තුනේදීම කැමැත්ත පළ කළහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page