top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජනතාව හාම්පුතුන් ලෙස සළකා රාජ්‍ය සේවකයින් සිය සේවා කාර්යක්ෂමව ඉටු කිරීමට වගබලා ගත යුතුයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 3, 2022
  • 3 min read

ree

නිදහස් අධ්‍යාපනයෙන් රාජ්‍ය සේවයට එක්වන නිලධාරීන්ට ජනතාව වැටුප් ගෙවන නිසා එම ජනතාව සිය හාම්පුතුන් ලෙස සළකා ඔවුන් වෙනුවෙන් තම සේවා කාර්යක්ෂමව ඉටු කිරීමට රාජ්‍ය සේවකයින් වගබලා ගත යුතු බව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා පැවසීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විවෘත අංශයේ විභාගය සමත්ව අභිනවයෙන් රාජ්‍ය පරිපාලන සේවයට ඇතුළත් වීමට නියමිත නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන (02) දින අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා පරිපාලන සේවාව සඳහා පැවති විවෘත විභාගයෙන් තෝරා ගත් නිලධාරීන් එකසිය අනූ නව දෙනෙකු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ මාස 6ක පුර්ණ කාලීන නේවාසික පුහුණුව නිම කිරීමෙන් අනතුරුව මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්විණි. පරිපාලන සේවයේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ලේකම්වරුන්ගේ දැනුම නව නිලධාරීන් වෙත ලබා දීම තුළින් කාර්යක්ෂම සහ සුහදශීලි සේවාවක් ජනතාවට ලබා දීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරසිංහ මහත්ම මහත්මීහු ද මෙහි දී අදහස් දැක්වූහ. ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා මෙසේ ද පැවසීය. මේ රටේ රාජ්‍ය සේවකයන් ලක්ෂ 14ක් සිටිනවා. පුද්ගලයින් 15කට එක් රාජ්‍ය සේවකයෙක් ඉන්නවා. නමුත් ජනතාව අතර රාජ්‍ය සේවාව ගැන තිබෙන හැඟීම වෙනස් වෙලා නෑ. රාජ්‍ය සේවය මේ වන විට භෞතිකව දියුණුවෙලා තිබෙනවා නමුත් ආකල්පමය වශයෙන් තවත් සංවර්ධනය විය යුතුයි. රාජ්‍ය සේවාව අකාර්යක්ෂමයි කියන කාරණය මම පිළිගන්නේ නෑ. රාජ්‍ය සේවාව කාර්යක්ෂමයි. නමුත් යම් යම් ආයතන සහ නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා රාජ්‍ය සේවාව ගැන ජනතාවට තිබෙන්නේ ඍණාත්මක ආකල්පයක්. රාජ්‍ය සේවකයන් වන අප රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ජනතා මුදලින් වැටුප් ලබන පිරිසක්. ඒ නිසා ජනතාව රාජ්‍ය සේවකයන්ගේ හාම්පුතුන් ලෙස සළකා කටයුතු කළ යුතුයි. රාජ්‍ය සේවයට ඇතුළත් වෙන බහුතරයක් ග්‍රාමීය පරිසරය සහ සංස්කෘතිය හොඳින් හඳුනන අය ඒ නිසා ජනතාවගේ ගැටලු නිවැරදිව හඳුනාගෙන ගැටලු විසඳාලීමේ වගකීමක් ඔබට පැවරෙනවා. රාජ්‍ය සේවකයන්ගේ සේවා කාලය පෙරවරු 8.30 සිට පස්වරු 4.30දක්වා වුණත් අපි අපේ උපරිමයෙන් රට සහ ජනතාව වෙනුවෙන් අපේ කාලය කැප කළ යුතු වෙනවා. ලංකාවේ කුමන ප්‍රදේශයකට ඔබේ පත්වීම ලැබුණත් හිතවත්කම්, ඥාති සබඳතා, හැඳුනුම්කම් වලට නෙමෙයි අවංකව, සත්භාවයෙන් සේවය කරන්න. මම කවදාවත් පැය අටේ සේවයට සීමා වී කටයුතු කළේ නෑ. ආයතනයකට ගියාම ප්‍රධානියා සමගත් නිලධාරීන් සමගත් සහයෝගයෙන් ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් වැඩ කරන්න, සම්ප්‍රදායට යටත් වෙලා ගතානුගතික රාජ්‍ය සේවකයෙක් නොවී අලුත් විදිහට හිතලා වැඩ කරන්න. සම්ප්‍රදාය වෙනස් කරනවට බොහෝ දෙනා අකමැතියි. ගැටුම් ඇති නොකරගෙන සම්‍ප්‍රදායෙන් ඉවත්වෙලා වැඩ කරන්න උත්සාහ ගන්න. මම සේවය කරන බෙහෝ අවස්ථාවල මම නීතියක් දා ගන්නවා. යම් ගැටලුවකට ආයතනයට එන පුද්ගලයෙක් දෙපාරකට වඩා ගෙන්න ගන්නේ නෑ කියලා. හැකි උපරිමයෙන් ඒ ගැටලුව නිරාකරණය කරන්න කටයුතු කරනවා. රාජ්‍ය සේවකයින් ලෙස ඔබ මානූෂිය විය යුතුයි. හොඳ ඇහුම්කන් දෙන්නෙක් විය යුතුයි. ඒ වගේම තමන් කටයුතු කරන පරිසරය ප්‍රියමනාප තැනක් බවට පත් කිරීමත් වැදගත්. සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නිසා එක්දිනක් තුළ පාස්පෝර්ට් එක ලබා දෙන්න තරම් කාර්‍යක්ෂම තැනක් බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව පත් කරන්න මට හැකි වුණා. ජනතාව ගෙන එන ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න ලෙස සලකා කටයුතු කරන්න. මහජන නියෝජිතයන් වගේ නෙමෙයි රාජ්‍ය සේවකයන් හැමදාම සේවාවේ ඉන්නවා. මහජන නියෝජිතයන් කියන්නේ ජනතාව නියෝජනය කරන පිරිසක් ඒ නිසා රාජ්‍ය සේවකයන්ට සිදු වෙනවා මහජන නියෝජිතයන් සමඟ වැඩ කටයුතු කරන්න. එහිදී නීත්‍යානුකූලව ඔබට ලබා දිය හැකි සහයෝගය ඔවුන් වෙනුවෙන් ලබා දෙන්න. ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් තමන් ගන්නා වැටුපට එහා ගිය සාධාරණ සේවයක් ලබා දීමට කැපවන්න යැයි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා පැවසීය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන්වන හර්ෂ විජේවර්ධන, නීතිඥ චමින්ද කුලරත්න, නිශාන්ත වීරසිංහ , ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරසිංහ මහත්ම මහත්මීහු සහ රාජ්‍ය සේවා,පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යාංශයේ නිලධාරීන්, පරිපාලන සංවර්ධන ආයතනයේ නිලධාරීන් සහ රාජ්‍ය පරිපලන සේවයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page