top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

“ගම සමග පිළිසඳර” ට ජනපති යළි ගමට යයි – සාම්ප්‍රදායික ජන ජීවිතයට බාධා කරන්න එපා –

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Dec 21, 2020
  • 3 min read

ree

රාවණාකන්දට මාර්ග 04ක් සහ පාලම් 03ක් අලුතින් …. කිතුල් සහ තේ කර්මාන්තකරුවන්ගේ ගැටළු ගැන විශේෂ අවධානය … වෙද, හෙද සහ ගුරු හිඟයට පිළියම් … ඉඩම් ගැටළුවට කඩිනම් විසඳුම් … “ගම සමග පිළිසඳර” සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලංගොඩ, ඉඹුල්පේ රාවණාකන්ද ගමට යයි.

ජනාධිපතිතුමා සහභාගී වූ “ගම සමග පිළිසඳර” තෙවන වැඩසටහන මෙයයි. පළමුවැන්න සැප්තැම්බර් මාසයේ, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ දෙවැන්න ඔක්තෝබර් මාසයේ දී මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව පැවැත්විණ. ග්‍රාමීය ජනතාවගේ දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති ගැටළු පිළිබඳව ඔවුන් සමග කථා බහ කර, ඒවා නිලධාරීන්ට ඉදිරිපත් කර කඩිනම් විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වේ. දිවයිනේ අති දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව මුණ ගැසී ඔවුන්ගේ ගැටළු නිවැරදිව හඳුනා ගැනීම තවත් අරමුණකි. පිළිසඳර රාවණාකන්ද ග්‍රාමයේ, තෝරවෙල්කන්ද විද්‍යාලයීය ක්‍රීඩා භූමියේ දී පැවැත්විණ. රත්නපුර දිස්ත්‍රික්කයේ එක් කෙළවරක, නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම්ව බලංගොඩ, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් රාවණාකන්ද ග්‍රාමය පිහිටා තිබේ. රාවණාකන්ද ග්‍රාමයට ආසන්න කට්ටඩිකන්ද, ගල්ලෙනකන්ද සහ තෝරවෙල් කන්ද ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක ගම්මු ජනාධිපතිතුමා හමු වී දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට තෝරවෙල් කන්ද විද්‍යාලයට පැමිණ සිටියහ. බලංගොඩ, හැටන් මාර්ගයට පිවිසෙන පුදුකාඩුව හන්දියේ සිට කි.මි 6ක් වූ වලේගොඩ මාර්ගය, රාවණාකන්ද සිට ගල්ලෙන්කන්ද මාර්ගය, තෝරවෙල්කන්ද – වතුකාරකන්ද මාර්ගය සහ එගොඩවලේබොඩ – වතුකාරකන්ද යන මාර්ග ඇතුළු ගම්මාන රැසකට පිවිසෙන අතුරු මාර්ග හඳුනාගෙන කඩිනමින් සංවර්ධනය කරන ලෙස ජනාධිපතිතුමා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මේ මාර්ගවලදී හමුවන ඌරාඔය සහ ඉමෝඔය හරහා පාලම් ඉදිකිරීම ද ඊට සමගාමීව සිදු කෙරේ. මාර්ග ඉදිකිරීම් සමග කුඩා තේ වතු කර්මාන්තකරුවන් රැසකට තේ දළු ප්‍රවාහනය කිරීමට පහසුකම් සැලසේ. කිතුල් මැදීමේදී බලපාන ගැටළු පිළිබඳව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ. කිතුල් මැදීම බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන්නැයි ජනාධිපතිතුමා පොලීසියට, වන සංරක්ෂණ සහ වනජීවි නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කිතුල් මැදීම, තේ දළු නෙළීම ඇතුළු එදිනෙදා ජීවනෝපාය සඳහා වන සංරක්ෂණ හා වනජීවි භූමිවලට ඇතුල්වන ගම්මුන්ට අත්තනෝමතික ලෙස නඩු පැවරීම නතර කරන්නැයි ද ජනාධිපතිතුමා නියෝග කළේය. ඔවුන්ගේ පාරම්පරික ජීවන රටාවන්ගෙන් පරිසරයට හානියක් නොවන බව අවස්ථා ගණනාවකදීම පැහැදිළි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම කටයුතුවලට සහය වන ලෙස ද නිලධාරීන්ට පැවසීය. ප්‍රදේශයේ තේ වගාකරුවන්ට අඩුවක්ව පවතින තේ සැකසුම් මධ්‍යස්ථානයක් ඉදි කර දීම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. තේ දළු ප්‍රවාහනයේ දී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට පහසුකම් සැලසීමට මැදිහත්වන්නැයි පළාත් දේශපාලනඥයින්ට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. දීර්ඝකාලයක සිට ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවට මුහුණදීමට සිදුව තිබෙන ඉඩම් ගැටළු හඳුනාගෙන කඩිනම් විසඳුම් දෙන්නැයි ජනාධිපතිතුමා අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය. කරගස්තලාව විද්‍යාලය, සුමන විද්‍යාලය, බලංගොඩ කනගනායගම් දෙමළ විද්‍යාලය, වලේබොඩ දෙමළ විද්‍යාලය, උඩගම විද්‍යාලය, පින්නවල දෙමළ මහා විද්‍යාලය, බලංගොඩ බුද්ධ ජයන්ති විද්‍යාලය, තෝරවෙල් කන්ද විද්‍යාලය ඇතුළු පාසල් රැසක ගුරු හිඟයට සහ යටිතල පහසුකම් සංවර්ධනයට කඩිනම් විසදුම් දීමට ද තීරණය කෙරිණ. සබරගමුව පළාතේ උසස් පෙළ විද්‍යා, ගණිත, වාණිජ හා තාක්ෂණ විෂයන් ඉගැන්වීමේදී පවතින දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිගය පියවීමට කඩිනම් සැලසුම් සකස් කරන ලෙස ද රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙනු ලැබීය. ප්‍රදේශයේ තරුණ තරුණියන් උදෙසා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීමට ද තීරණය කෙරිණ. පින්නවල ග්‍රාමීය රෝහල, මනතුංගකන්ද ඇතුළු ග්‍රාමීය රෝහල් කිහිපයක වෛද්‍ය, හෙද සහ යටිතල පහසුකම් සංවර්ධනයට කඩිනම් පියවර ගැනීමට ද උපදෙස් දෙනු ලැබිණ. බැංකියවත්ත කසල මුදා හැරීමේ මධ්‍යස්ථානය ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර නොවන ලෙස සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියට පවරනු ලැබීය. ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට විශාල අඩුවක්ව ඇති සුසාන භූමියක් ඉදි කිරීමට සුදුසු භූමියක් වෙන් කර පළාත් පාලන ආයතනයට පැවරීමට ද තීරණය කෙරිණ. තෝරවෙල්කන්ද විද්‍යාලයට ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරනු පිණිස ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතන අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක පද්ධතියකින් සමන්විත “සුහුරු පන්ති කාමරයක්” ප්‍රදානය කළේය. බලංගොඩ ආනන්ද මෛත්‍රී පාසලේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සදෙව් දිනිරුද් ප්‍රනාන්දු සිසුවා කළ “නව නිර්මාණය” ජනාධිපතිතුමාගේ පැසසුමට සහ ඇගයීමට ලක්විය. සිය ශරීර උෂ්ණත්වය තමාම පරීක්ෂාකර, විෂ බීජ හරණය ද එම යන්ත්‍රය මගින්ම සිදු වන ද්විත්ව හැකියාවක් යන්ත්‍රය සතුය. එය සවිකර ඇති ස්ථානය පසුකර යාමේදී උෂ්ණත්වය පරීක්ෂා නොකළහොත් සංඥා නාදයක් ඉන් නිකුත්වීම ද විශේෂත්වයකි. තෝරවෙල්කන්ද විද්‍යාලයේ 02 වසරේ ඉගෙනුම ලබන ඕෂධී චමුදිකා ජයවික්‍රම දියණිය රචිත ග්‍රන්ථ 02ක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය. අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, අකිල එල්ලාවල, ගාමිණි වෙලේබොඩ, මුදිතා ද සොයිසා, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු, ජනතා නියෝජිතයෝ සහ අමාත්‍යාංශ රැසක ලේකම්වරු ඇතුළු නිලධාරීහු “ගම සමග පිළිසඳරට” එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page