top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

එන්නත්කරණයේ දී අප රට ඉහළ ස්ථානයක සිටිනවා - ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 21, 2021
  • 2 min read

ree

කොවිඩ් 19 රෝගයට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම අතින් දකුණු ආසියාතික රටවල් අතර මෙන්ම ලෝකයේත් අප රට ඉහළ ස්ථානයක සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලීද සිල්වා මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ, අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී එන්නත්කරණයේ වත්මන් තත්ත්වය පිළිබදව දැනුවත් කිරීම සදහා පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. මෙලෙස එන්නත්කරණය අතින් අප රට ඉහළම ස්ථානයක පසුවීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අප රටට සම්මාන පවා ලැබෙමින් පවතින බව ද ඇය සදහන් කළාය. මේ වන විට මිලියන 13කට පළමු මාත්‍රාව ලබාදී ඇති බවද, එය ප්‍රතිශතාත්මකව 63%ක් වන අතර අවුරුදු 30ට වැඩි කණ්ඩායම සදහා 50%කට වැඩි ප්‍රතිශතයකට එන්නත් දෙකම ලබාදී ඇති බවද ඇය සිහිපත් කළාය. මෙය ඉතාමත්ම හොද තත්ත්වයක් බවද අප රටෙහි එන්නත්කරණය අරඹා තවම මාස කිහිපයක් බවද සදහන් කළ ප්‍රජා වෛද්‍ය විශේෂඥවරිය වැඩිදුරටත් කියා සිටියේ, බහුතරයක් සයිනොෆාම් එන්නතෙන් එන්නත්කරණය කර ඉන් මිලියන 10ක් පමණ පළමු එන්නත ලබාගෙන ඇති අතර කොවිෂීල්ඩ් එන්නත දෙවන ස්ථානයේ සිටින බවයි. මොඩොර්නා සහ ෆයිසර් සමහර දිස්ත්‍රික්ක සදහා ජනගහණය ආවරණය කිරීමට ලබාදුන් බවද මුලින්ම අවුරුදු 60ට වැඩි කණ්ඩායමටද, ඉන්පසු අවුරුදු 30ට වැඩි කණ්ඩායම් සදහාද එන්නත්කරණය ඇරඹු බවද ඇය පැවසුවාය. දකුණු ආසියාතික රටවල් අතරින් ප්‍රථමයෙන්ම ගර්භණී මවුවරුන් එන්නත්කරණය කළේ ශ්‍රී ලංකාව බවද, වැඩසටහනක් වශයෙන් සියලුම ගර්භණී මවුවරුන් ආවරණය කිරීමේ ඉලක්කය මත මේ අනූව දැන්ට 80% - 90%ක් ගර්භණී මවුවරුන් එන්නත්කරණයෙන් ආවරණය කර ඇතැයිද, මෙහි අරමුණ වූයේ ගර්භණී මවුවරුන්ට ඇති වන සංකූලතාවයන් අවම කර මාතෘ මරණ සිදුවීම වළක්වා ගැනීමයි. දැනටමත් එන්නත ලබානොගත් ගර්භණී මවුවරු සිටී නම් තමන්ගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හෝ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය අමතා එන්නත් ලබාගන්නා ලෙස ඉල්ලා සිටින බවද ඇය කියා සිටියාය. එන්නත් ලබාගැනීමේදී පෝලිම් වල සිටීමෙන් කොවිඩ් වැළදෙතැයි සැකයක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවද ගර්භණී මවුවරුන්ට එන්නත්කරණයට වෙනම සේවාව සැලසෙන බවද අදාල සායන තුළදී හෝ වෙනමම වශයෙන් ගර්භණී මවුවරුන් සදහා එන්නත්කරණය සිදුවන බවද ඇය කියා සිටියාය. එමෙන්ම එන්නත් ලබාගැනීම නිසා මවුකිරි දීමේ ගැටලු හෝ දරුවාට ගැටලු මතුවිය හැකි බවට මිථ්‍යා මත වලට හසු නොවන ලෙසත්, මෙතෙක් එන්නත් ලබාගත් මවුවරුන් පිළිබදව දත්ත පද්ධතියක් පවත්වාගෙන යන අතර මේ දක්වා එන්නත ලබාගැනීම හේතුවෙන් කිසිදු සංකූලතාවයක්, අතුරු ආබාධ, ආසාත්මිතකා සහ දරුවන් හට ගැටලු මතුවීම් වාර්තා නොවුණු බවද මේ වන විට මවුවරුන් ලක්ෂයකට අධික ප්‍රමාණයකට එන්නත් ලබාදී ඇති බවද ඇය සදහන් කළාය. සමීක්ෂණ අනූව එක් එක් එන්නත් වල ප්‍රතිශක්තිය සෑදීමේ යම් යම් වෙනස්කම් පැවතියද, සෑම එන්නතකින්ම හොද ප්‍රතිශක්තියක් සැලසෙන බවද, එන්නත්කරණය වැඩි වීමේදී පුද්ගලයන් අතර මරණ සංඛ්‍යාව අඩුවන බවද, සිදුවූ මරණ වල වැඩි ප්‍රමාණයක්ම එන්නත් ලබානොගත් අය අතර සිදුවී ඇති බවද ඇය සදහන් කළාය. ලංකාවේ ලබාදෙන සෑම එන්නතක්ම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ එන්නත් බවද, ඇතැම් පුද්ගලයන් විදෙස්ගතවීමට බලාපොරොත්තු වන බැවින් ඇතැම් එන්නත් ප්‍රතික්ෂේප කරන බවද, මෙම අවස්ථාවේ වැදගත් වනුයේ කොවිඩ් රෝගයෙන් ජීවිතය ආරක්ෂා කරගැනීම බැවින් එන්නත් ප්‍රමාද නොකර ලබාගන්නා ලෙසද වෛද්‍යවරිය ඉල්ලා සිටියාය. විදෙස්ගත වීමේදී රටවල් කිහිපයක් පමණක් එන්නත් වර්ගය විමසන බවද, වෙනත් එන්නතක් ලබාගත්තද එම රටවල් වලින් භාරනොගෙන සිටින්නේ නැතැයිද, යම් කාලසීමාවක් නිරෝධායනයට ලක්කිරීමක් පමණක් සිදුකරන බවද ඇය සදහන් කළාය. සමහර ප්‍රදේශ වල අවුරුදු 20ත් 30ත් අතර පසුවන තරුණ තරුණියන් ඇතැම් මිථ්‍යා මත හේතුවෙන් එන්නත්කරණයට මැළිකමක් දක්වන බවද, මෙම කණ්ඩායම අභියෝගාත්මක වයස් කාණ්ඩයන් වන අතරම සමාජ සම්බන්ධතා වැඩි වීම හේතුවෙන් මොවුන්ගෙන් රෝගය ආසාදනය වැඩිවිය හැකි බවත් මෙම කාරණා සැලකිල්ලට ගනිමින් එන්නත ලබාගැනීම වැදගත් බවද, එන්නත ලබාගැනීම පමා කිරීම ඔබගේ ජීවිතයට ඔබ විසින්ම එල්ල කරන අභියෝගයක් බවද ඇය සිහිපත් කළාය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page