top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇරඹේ.,..

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 22, 2021
  • 2 min read

ree

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇරඹේ ...

මෙරට වේලාවෙන් රාත්‍රී 9.30 ට පමණ ජනාධිපති එක්සත් ජාතීන්ගේ සමුළුව අමතයි  කොවිඩ් පරාජය කර, ලෝකය හමුවේ ඇති ප්‍රධාන අභියෝග ජය ගැනීමට සියලුදෙනා එක්වන්න - ඇමරිකානු ජනපති රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලයි. කොවිඩ් වසංගතය පරාජය කර ලෝකය හමුවේ ඇති ප්‍රධාන අභියෝග ජය ගැනීමට එක්වන්නැයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් (Joe Biden) මහතා රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජෝ බයිඩ්න් මහතා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) ප.ව 6.30ට නිව්යෝර්ක් හි, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සමුළුව ආරම්භ විය. ඊට සහභාගීවීමට පැමිණි රාජ්‍ය නායකයන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා (Antonio Guterres) විසින් මහත් හරසරින් පිළිගනු ලැබිණ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු රාජ්‍ය නායකයෝ මහ ලේකම්වරයා සංවිධාන කර තිබූ තේ පැන් සංග්‍රහයට සහභාගීවීමෙන් අනතුරුව රාජ්‍ය නායක සමුළුව ආරම්භ කෙරිණි. “කොවිඩ් 19 - වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්න රාජ්‍ය නායක සමුළුවේ මෙවර තේමාව විය. දේශගුණික ගැටළු සාමය හා ආරක්ෂාව, මානව අභිමානය සහ මානව හිමිකම් යන වර්තමානයේ ඇති ප්‍රධාන අභියෝග සියල්ලට මුහුණදීම සඳහා නායකත්වය දීමට සුදානම් බව ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. යුද වැදීම වෙනුවට සාමුහික අනාගතය සඳහා වන අභියෝග වෙනුවෙන් සම්පත් කැප කිරීමට එක්සත් ජනපදය අවධානය යොමු කරන බව බයිඩ්න් මහතා සඳහන් කරනු ලැබිණි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres), මහ මණ්ඩල සැසිවාරයේ සභාපති අබ්දුල්ලා ෂාහීඩ් (Abdulla Shahid) යන මහත්වරු සමුළුවේ පළමු සැසියේ දේශන සිදු කළහ. ලෝකයට අවදිවීමට කාලය පැමිණ ඇති බව මහා මණ්ඩලය අමතමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා සඳහන් කළේය. “අප අගාධයක අද්දර සිටින අතර වැරදි දිශාවට ගමන් කරමින් සිටී. අපේ ලෝකය තර්ජනයට ලක්වී ඇත. එසේත් නැත්නම් වඩාත් බෙදී වෙන්වී ඇත” මහලේකම්වරයා සඳහන් කරනු ලැබිණ. “පොහොසත් රටවල වැඩි දෙනෙකුට කොවිඩ් එන්නත ලබා දී ඇතත් අප්‍රිකානුවන්ගෙන් 90%කට වඩා තවමත් පළමු එන්නත ලැබෙන තෙක් බලා සිටී. මෙයින් පෙනී යන්නේ අපි විද්‍යාව පිළිබඳ විභාගය සමත් වුවද ආචාර ධර්ම නමැති විභාගයෙන් අසමත් බව” යැයි මහලේකම්වරයා පැවසීය. “අභියෝග රාශියක් ඇති නමුත් ගත වූ වසර දෙක තුළ අත්කරගත් ජයග්‍රහණ සැමරීමට මොහොතකට ඉඩදිය යුතුය” යැයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ සභාපති අබ්දුල්ලා ෂාහීඩ් මහතා සිය දේශනය තුළින් පෙන්වා දුන්නේය. “වාර්තාගත කාලයකදී මානව වර්ගයා විසින් කොවිඩ් 19 සඳහා විවිධ සාර්ථක එන්නත් නිපදවා ඇත. රටවල් දුසින් ගණනාවක විද්‍යාඥයින් සහ පර්යේෂකයන් විසින් මානව කුසලතාවේ කැපී පෙනෙන කාර්යයක් සඳහා සහයෝගයෙන් කටයුතු කළහ. මානව ඉතිහාසයේ විශාලතම එන්නත්කරණය මේ වන විට ලෝකයේ සිදු වෙමින් පවතී” අඩු පාඩු පැවතියත් එය ඉදිරියට ගෙනයාමේ වැදගත්කම අබ්දුල්ලා ෂාහීඩ් මහතා රාජ්‍ය නායකයන් හමුවේ අවධාරණය කළේය. සමුළුවේ දෙවන දිනය වන අද (22) මෙරට වේලාවෙන් රාත්‍රී 9.30 ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමුළුව ඇමතීමට නියමිතය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page