එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තර කෙරෙන සාකච්ඡා සාර්ථකයි...
- helloplanetaviss
- Sep 28, 2021
- 2 min read

එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍ය (මහාචාර්ය) ජී.එල්. පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මහතා හමුවූ අතර, අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය මත පදනම්ව රටවල් අතර පවතින යහපත් සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සිය කැපවීම අමාත්‍යවරු දෙදෙනාම යළි තහවුරු කළහ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහ්යාන් මහතා සමඟ පැවති සිය දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කළ අමාත්‍ය පීරිස් මහතා, ඉක්මනින්ම එතුමා ශ්‍රී ලංකාවේ දී පිළිගැනීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළේය. ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇතුළු ජාත්‍යන්තර සංසද තුළ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සාර්‍ථක හා ඵලදායී සහයෝගීතාවයක් පවතී. විවිධ කොන්දේසි සහ න්‍යාය පත්‍ර රටවල් මත පැනවීම පිළිගත නොහැකි බවටත්, සෑම ගැටලුවකටම සරිලන එක් විසඳුමක් පිළිබඳ ප්‍රතිපත්තිය මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදෙන බවටත් අමාත්‍යවරුන් දෙදෙනාම එකඟ වූහ. දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ද සෑම ගැටලුවකටම සරිලන එක් විසඳුමක් පිළිබඳ ප්‍රතිපත්තිය අදාළ නොවන බවත්, ඔවුන්ගේ ආර්ථිකයන්ට බලපෑම් නොකර දේශගුණික විපර්යාසයන් සඳහා අනුවර්තනය වීමට සහ ලිහිල් කිරීමට ඉඩ සලසන යාන්ත්‍රණයන් නිර්වචනය කළ යුතු බවත් අමාත්‍ය අල් ජාබර් මහතා ප්‍රකාශ කළේය. 2023 දී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතියට (COP 28) සත්කාරකත්වය ලබා දීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය නාමයෝජනා ඉදිරිපත් කළ අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහය අපේක්ෂා කරන බව එතුමා සඳහන් කළේය. දළ වශයෙන් ශ්‍රී ලාංකිකයින් 300,000 දෙනෙකු පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වෙමින් සේවය කරති. විශේෂයෙන් කොවිඩ්-19 වසංගතය අතරතුර දී ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා ලබා දීම සහ ඔවුන්ගේ සුභසාධනය පිළිබඳව සොයා බැලීම ශ්‍රී ලංකා රජය අගය කරන බව විදේශ අමාත්‍යවරයා පැවසීය. සේවකයින්ගේ සුභසාධනය සම්බන්ධව ඵලදායි නීති සම්පාදනය කිරීම ගැන එතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට ස්තූති කළේය. අමාත්‍ය පීරිස් මැතිතුමා අල් ජාබර් අමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිලිබඳව විස්තර කළ අතර, වීසා බලපත්‍ර ලිහිල් කිරීම අගය කරමින්, එය තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳව අපේක්ෂාව පළ කළේය. විශේෂයෙන් ගල්ෆ් කලාපයෙන් පැමිණෙන අමුත්තන්ගේ නිශ්චිත ප්‍රමුඛතා හා අවශ්‍යතා සපුරාලීමේ හැකියාව ඉස්මතු කරමින්, සංචාරක අංශය නැවත ඉහළ නැංවීම සඳහා රජය ගෙන ඇති පියවර ද එතුමා විස්තර කළේය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විදේශ අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන අභියෝග පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මහතා පැහැදිලි කළේය. එතුමා විශේෂයෙන් රටේ තෙල් අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කළ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහන සැලැස්මක් ඉල්ලා සිටියේය. ඊට ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය උදව් කිරීමට සතුටු වන බව පැවසූ අල් ජාබර් අමාත්‍යවරයා, එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා උපාය මාර්ගික රාමුවක් ස්ථාපිත කිරීමට යෝජනා කළේය. ඒ පිළිබඳව ඉක්මනින් පසු විපරම් කිරීම සඳහා දෙපාර්ශවයම එකඟ විය.
Comments