top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

අතරමග නැවතුන සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක වැඩ ලබන වසරේ මුල් කාර්තුවේදී යළි අරඹනවා

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Dec 15, 2023
  • 3 min read


ree

  • මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ


විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ යළි ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ දේශපාලන ස්ථාවරත්වය පිළිඹිබු කරමින් 2024 අයවැය යෝජනාවලිය සම්මත කර ගැනීමට හැකි වූ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය ආදායම සහ වියදම කළමණාකරණයට අවශ්‍ය පසුබිම මෙවර අයවැය තුළින් සකසා ඇති බව ද සඳහන් කළේය.


මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රටේ ආර්ථිකය පවතින්නේ ජනප්‍රිය දේශපාලන සටන් පාඨවලින් විසඳුම් සෙවිය හැකි මට්ටමක නොවන බව මෙහිදී පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන හැරෙන්නට වෙනත් විකල්පයක් නොතිබූ බවද පෙන්වා දුන්නේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.

පාර්ලිමේන්තුවේ දේශපාලන ස්ථාවරත්වය පිළිඹිබු කරමින් 2024 රාජ්‍ය අයවැය සම්මත කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට දෙවැනි වාරිකය නිදහස් කිරීමට ද තීරණය කර තිබෙනවා. ඒ අනුව අප බලාපොරොත්තු වූ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඇමරිකානු ඩොලර් මිලියන 337ක් අපට ලැබීමට නියමිතයි. ඒ සමඟම ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ද මීට පෙර එකඟ වූ වාරික නිදහස් කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.


ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජයට නොහැකි වනු ඇති බවට විපක්ෂය ජනතාව තුළ චකිතයක් ඇති කර තිබුණා. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට නොහැකි වුණා නම් අප බලාපොරොත්තු වන ආර්ථික ඉලක්කවලට යාමට නොහැකි වෙනවා. මේ සියල්ල සාර්ථක වීම තුළ තවදුරටත් රටේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා.


මීට මාස කිහිපයකට පෙර අපේ රට ආර්ථික වශයෙන් ඉතා අසීරු තත්ත්වයකට පත්ව තිබුණා. එදා සහ අද පවතින ආර්ථික තත්ත්වය දෙස බැලීමේදී මෙම සාර්ථකත්වය ඇති කර ගැනීමට උපකාර කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. එම වැඩපිළිවෙළ හැරෙන්නට රටක් ලෙස ආර්ථිකමය වශයෙන් නැඟී සිටීමට වෙනත් කිසිදු අවකාශයක් අපට තිබුණේ නැහැ.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අපගේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මෙරට ණය හිමියන් සහ අනිකුත් බහුපාර්ශ්වීය මූල්‍ය පහසුකම් සලසන ආයතන ක්‍රියාත්මක වන ආකාරයත් ඉතා වැදගත් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය රාමුව තුළ ශ්‍රී ලංකාව කොතෙක් දුරට කාර්යක්ෂමද, කැපවීම් කරනවාද කියන කරුණු එහිදී ඉතා වැදගත්.


වගකිව යුතු රජයක් ලෙස ජනතාව මුහුණ දෙන අසීරුතා අවතක්සේරු කරමින් කටයුතු කිරීමට අප සූදානම් නැහැ. නමුත‌් මෙවැනි තීන්දු තීරණ නොගත්තා නම් පසුගිය ආර්ථික අර්බුදයට වඩා දරුණු තත්ත්වයකට අපට ඉදිරියේදී මුහුණ දීමට සිදු වෙනවා.


මෙම තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට මෙම කෙටි කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් නායකත්වය ඉතා වැදගත් වූ බව කිව යුතුයි. රජයේ එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සමඟ ජනතාව අපහසුවෙන් වුව ද කටයුතු කළ බව අප කෘතවේදීව සිහිපත් කළයුතුයි.


පාර්ලිමේන්තුවේදී අයවැය ලේඛනය සම්මත වීමට සමගාමීව රාජ්‍ය ආදායම ද ඉහළ නංවා ගැනීම සම්බන්ධවත් අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා. රාජ්‍ය ආදායම, වියදමට සරිලන ලෙස සකස් වී නොතිබීම ගැටලුකාරී තත්ත්වයක්.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළින් දැඩි විවේචන එල්ල වී තිබෙනවා. නමුත් රටේ ආර්ථිකය පවතින්නේ දේශපාලන වශයෙන් විසඳුම් සෙවිය හැකි මට්ටමක නොවන බව කිවයුතුයි. අතීතයට බැන වඳිමින්, විවේචන කළ පමණින් අර්බුදවලට විසඳුම් සෙවිය නොහැකියි. රජය ගන්නා තීන්දු තීරණවලට විපක්ෂ කණ්ඩායම් විරුද්ධ වුණේ තම ජනප්‍රියතාව උදෙසා පමණයි. ජනප්‍රියතාව වෙනුවෙන් තවදුරටත් බංකොළොත් රටක් ලෙස ඉදිරියට යනවාද, මෙම ලබාගත් පන්නරය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යනවා ද කියන කාරණය පිළිබඳ තීන්දුවක් ගත යුතුව තිබෙනවා.

රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් නොකළහොත් රජය බලාපොරොත්තු වන රාජ්‍ය ආදායම ලබා ගන්න බැහැ. පැවති රජයන් බදු පතිපත්තිය පිළිබඳ නිසි අවධානයක් යොමු නොකිරීම අද රට පත්ව ඇති අසීරුතාවට මූලික හේතුවක් බව කිවයුතුයි.


ජනාධිපතිතුමා පසුගිය වසරේ අතුරු අයවැය තුළින් බදු ජාලය ශක්තිමත් කිරීමට යෝජනාවලියක් ඉදිරිපත් කළා. නමුත් එය බලාපොරොත්තු වූ මට්ටමින් ක්‍රියාත්මක නොවූ නිසා තමයි සෘජුවම මෙවර අයවැය තුළින් බදු ජාලය පුළුල් කිරීමට අවශ්‍ය පරිසරය සකස් කළේ. ඒ නිසා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම, හා රාජ්‍ය වියදම කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත් වෙනවා.


එසේම විදේශ ණය ආධාර යටතේ ආරම්භක කර අතරමග වැඩ නැවතුණ ව්‍යාපෘති 200කට වැඩි ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ නැවත ආරම්භ කිරීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි රටක් බවට පත් වූ නිසා ඒ සියලු ව්‍යාපෘති නතර වුණා. නමුත් මෙම ව්‍යාපෘති නැවත ආරම්භ වීමත් සමඟ මෙරට ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් වනු ඇතැයි අප විශ්වාස කරනවා. වර්තමානය වන විට සුබවාදී, ශක්තිමත් ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගමන් කරමින් සිටින බව කිවයුතුයි. එසේම ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රකෘතිමත් ආර්ථිකයක සුබවාදි ලක්ෂණ පෙන්නුම් කරමින් තිබෙනවා.


දේශපාලන කෝණයකින් බලා රටේ ආර්ථිකය ගොඩනැගිය නොහැකියි. විපක්ෂය කියන ලෙස මෙම කටයුතු ඉතා පහසුවෙන් ඉටු කරන්න බැහැ. ඒ වගේම රටේ ආර්ථිකය ගොඩනඟන අන්දම පිළිබඳ ඔවුන්ට කිසිදු යෝජනාවක් ද නැහැ. අභියෝගකාරී අවස්ථාවේ රටේ වගකීම භාර නොගත් කණ්ඩායම් රට යම් ධනාත්මක තත්ත්වයකට පැමිණී අවස්ථාවේදී මෙලෙස විවේචන එල්ල කිරීම සාධාරණ නැහැ. ඒ වගේම සමීක්ෂණ ආයතන ද රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව සිය මතය ප්‍රකාශ කළ යුතුයි. මෙය රටේ තීරණාත්මක අවස්ථාවක්. අද විවිධ දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතාවයට වැරදි තොරතුරු දිගින් දිගටම පළ කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ද සඳහන් වෙනවා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page